2021 වසරේ ලොව පළමු වරට සිදු වූ විශේෂ සිදුවීම්

  1. ලෝක වෙළඳ සංවිධානය (WTO) එහි 7 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නයිජීරියාවේ එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා (Ngozi Okonjo-Iweala) පත් කර ගන්න ලදී. ඇය ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පළමු කාන්තාව සහ පළමු අප්‍රිකානු ජාතිකයා බවට පත් විය. ඇය සිය රාජකාරිය මාර්තු 1 වනදා භාර ගත් අතර ඇගේ ධූර කාලය අළුත් කළ හැකි කාලය 31 අගෝස්තු 2025 වන දිනෙන් අවසන් වේ. 66 හැවිරිදි ඔකොන්ජෝ-ඉවාලා ගෝලීය මූල්‍ය විශේෂඥයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයෙක් වන අතර දෙවරක් නයිජීරියාවේ මුදල් ඇමති ලෙස සේවය කළ අතර කෙටියෙන් විදේශ ඇමතිවරිය ලෙස කටයුතු කළ ඇය ලෝක බැංකුවේ වසර 25 ක වෘත්තීය ජීවිතයක් ගත කළ අතර මෙහෙයුම් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ද වේ.

  2. "සෑම දිනකම: පළමු දින 5000" ("Everydays: the First 5000 Days") කලා කෘතිය ප්‍රකට ඩිජිටල් චිත්‍ර ශිල්පියෙකු වන මයික් බීපල් වින්කල්මන් විසින් නිර්මාණය කරන ලද සම්පුර්ණයෙන්ම ඩිජිටල් JPEG ෆයිල් වර්ගයේ නිර්මාණයකි.  බ්‍රිතාන්‍ය වෙන්දේසි ආයතනයක් වන ක්‍රිස්ටි හි ඩොලර් මිලියන 69.3 ක මිලකට මෙය අලෙවි කර ඇත.  ප්‍රසිද්ධ වෙන්දේසි ආයතනයක් වන ක්‍රිස්ටි විසින් සම්පූර්ණයෙන්ම ඩිජිටල් කළ කලා කෘතියක් අලෙවි කළ පළමු අවස්ථාව මෙයයි. මෙය දැනට ලොව වැඩිම මිලකට අලවි වූ NFT අතරින් දෙවන ස්ථානයද, තනි පුද්ගලයකුගේ හිමිකාරිත්වය හිමිව වැඩිම මිලට අලවි කරන ලද නිර්මාණයද වේ. මෙම කලා කෘතියට උනන්දුවක් දක්වන පාර්ශව කිහිපයක් සිටි නමුත් අවසානයේ එය මිලදී ගත්තේ නිර්නාමික ගැනුම්කරුවෙකු ලෙස රැඳී සිටි ඉන්දියානු විග්නේෂ් සුන්දරේෂන් ය. "සෑම දිනකම: පළමු දින 5000" JPEG නිර්මාණය  NFT දත්ත ගබඩාකරණය භාවිතයෙන් සකසන ලද නිර්මාණයකි. NFT (Non-Fungible Token) යනු "දිලීර නොවන ටෝකනය." වන අතර එනම් එය ඩිජිටල් ලෙජරයක ගබඩා කර ඇති හෝ ගිණුම්ගත කර ඇති දත්ත වශයෙන් හැදින්විය හැක.  NFT තාක්‍ෂණය  විසින් නිර්මාපකයින්ට ඔවුන්ගේම කොන්දේසි මත ඔවුන්ගේ ඩිජිටල් නිර්මාණ ග්‍රහණය කර ගැනීමට සහ බෙදා ගැනීමට බල ගන්වයි. කලා කෘති වැනි භෞතික වස්තූන් සංකේතනය කළ හැකි මාධ්‍යයක් මෙමගින් නිර්මාණය කිරීම නිසා එවැනි කලා කෘතිවල අනුපිටපත් කිරීම් ඉවත් කර කලාකරුවාට පමණක් හිමිකාරිත්වය සීමා කරයි.  ඒ සඳහා වටිනාකමක් නිර්මාණය කිරීමේ හැකියාව මෙමගින් ලැබෙන අතර ඕනෑම දේපලක් මෙන් මිලදී ගත හැකි සහ විකිණිය හැකි ඩිජිටල් ලෝකයේ  ආකාරයේ වත්කම් නිර්මාණය කිරීම මෙම NFT තාක්ෂනය නිසා ලැබී තිබේ.

  3. තුර්කි STM නම් ආයතනයක් විසින් නිපදවා ඇති එස්ටිඑම් කාගු (STM Kargu) නම් ඩ්‍රෝන යානාව මගින් ලොව පළමු වරට මිනිසා ගේ සම්බන්ධයක් නොමැතිව රොබෝ තාක්ෂනය හා කෘතිම බුද්ධිය මාර්ගයෙන් ස්වයංක්රීයව සතුරු ඉලක්ක හදුනා ප්‍රහාර එල්ල කර මිනිසුන් මරණය කර තිබෙන බවට ලිබියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂඥ කමිටුවක් මගින් 2021 මාර්තු මස තහවුරු කරන ලදී. ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්තාර් නම් හිටපු ලිබියානු හමුදා නිලධාරියා මෙහෙය වන ලිබියානු ජාතික හමුදාව ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ලවී තිබේ. තුර්කි හමුදා සහයෙන් ලිබියාවේ ජාතික එකඟතා රජය විසින් මෙම ප්‍රහාර සිදු කර ඇති බවට එම වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.


  4. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් යනු යුරෝපයේ වඩාත්ම සිත්ගන්නා නගරවලින් එකක් වන අතර සංචාරක ව්‍යාපාරය සඳහා විශිෂ්ට ස්ථානයකි. යුරෝපීයයන් එය හඳුන්වන්නේ "උතුරේ වැනීසිය" ලෙසය. ඇම්ස්ටර්ඩෑම් හි කෞතුකාගාර චතුරශ්‍රයේ පිහිටා ඇති රාජ්‍ය කෞතුකාගාරය රිජ්ක්ස්මූසියම් (Rijksmuseum) යනුවෙන් හදුන්වයි. එය කලාව සහ ඉතිහාසය සඳහා කැප වූ කෞතුකාගාරයකි. 1200 සිට වර්තමානය දක්වා වූ කාල පරාසයක් ආවරණය වන පරිදි කෞතුකාගාරයේ සමස්ත එකතුවෙහි භාණ්ඩ මිලියනයක් පමණ ඇත. කෙසේ වෙතත්, අමුත්තන්ට එකවර බැලීමට හැක්කේ අයිතම 8,000 ක් පමණි. වසර 220 ක් ඉක්මවූ රිජ්ක්ස්මූසියම් කෞතුකාගාර ඉතිහාසයේ පළමු වරට 17 වන ශතවර්ෂයේ චිත්‍ර ශිල්පණියන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කිහිපයක් සම්භාවනීය ගැලරියේ ස්ථිර ලෙස ප්‍රදර්ශනයට තබන ලදී. ඒවා නම්,
    • ජුඩිත් ලෙස්ටර් ගේ "රාත්‍රි ගීතය" (The Serenade-1629 by Judith Leyster)
    • රචෙල් රූය්ච්  ගේ "විදුරු බඳුනේ මල් සමඟ නිශ්චල ජීවිතය" (Still Life with Flowers in a Glass Vase -1690 by Rachel Ruysch)
    • ජෙරාඩ් ටර් බෝච් ගෙසිනා ටර් බෝච් ගේ "මෝසෙස් ටර් බෝච් ප්‍රතිමූර්ති චිත්‍රය" (Memorial Portrait of Moses ter Borch by Gerard ter Borch and and Gesina ter borch)

  5. ඇමරිකානු බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥන් පිරිසක් විසින් "බ්‍රේන් ගේට්" (BrainGate) නම් පරිගණක පද්ධතියක් නිර්මාණය කරන ලදී. මෙමගින් ලොව පළමු වරට සාර්ථකව මිනිස් මොලය හා පරිගණකය රැහැන් රහිතව සම්බන්ධ කර පෙන්වන ලදී. මෙම පද්ධතිය මඟින් අංශභාග රෝගීන්ගේ මොලයේ මස්තිෂ්කය, පරිගණක අන්තර් මුහුණු පද්ධතියක් හා සම්බන්ධ කර රෝගියාට පරිගණකයට විධාන යොමු කිරීමට අවස්ථාව ලබා දෙයි. මෙහිදී සුෂුම්නාව හානි වීමෙන් අංශභාග තත්ත්වයට පත් වූ රෝගීන් දෙදෙනකු යොදා ගනිමින් කළ පර්යේෂණයදී මෙම රැහැන් රහිත අන්තර් මුහුණු ඔස්සේ පරිගණක හසුරු වීමට රෝගීන්ට හැකියාව ලැබෙන බව සාර්ථකව පෙන්වා දී තිබේ. මෙහිදී වන්නේ රෝගියා මනසින් සිතන විධාන හා නියෝග සම්ප්‍රේෂකය ඔස්සේ පරිගණක අන්තර් මුහුණ වෙත ගමන් කොට, ඒ අනුව පරිගණක වෙත විධාන ලබාදීමය. සුප්‍රකට ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ එලන් මස්ක්ගේ ‘නියුරලින්ක්’ නැමැති ව්‍යාපෘතිය ඔස්සේද ඔහුගේ විද්‍යාඥයන් උත්සාහ දරමින් සිටින්නේ මේ හා සමාන, රැහැන් රහිත, ඍජුවම මොළයට බද්ධ කළ මෙවලමක් ඔස්සේ මනසින් පරිගණක ක්‍රියාත්මක කරවීමේ හැකියාව රෝගීන්ට දීමටය. නමුත් බ්‍රේන් ගේට් මෙන් නොව ඇසට දෘශ්‍යමාන නොවන නියුරලින්ක් මෙවලම මේ වන විටත් අත්හදා බලා ඇත්තේ සූකරයන් හා වඳුරන් සම්බන්ධයෙන් පමණි. ඒ අනුව මිනිසුන් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලු ලොම ප්‍රථම මස්තිෂ්ක-පරිගණක අන්තර් මුහුණ ලෙස වාර්තාගතව තිබෙන්නේ බ්‍රේන් ගේට් නිමැවුම පමණි.

  6. අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට අඟහරු ග්‍රහයාට යැවුණු ‘පර්සිවියරන්ස්’ රොබෝ යානයෙහි සවි කර ඇති  ‘මොක්සි’ උපකරණයෙන්  සමත් වුණු බව නාසා ආයතනය නිවේදනය කරන ලදී. අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම පෘථිවි විද්‍යාඥයන්, විශ්වයේ වෙනත් ග්‍රහලොවක ඔක්සිජන් නිපදවීමක් කළ පළමු අවස්ථාව ද මෙයයි. ගසක ප්‍රභාසංස්ලේෂණය සිදුවන අයුරින් කෘත්‍රිමව ‘මොක්සි’ උපකරණයෙන් කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීම සිදු කෙරේ. ඔක්සිජන් උත්පාදනය සඳහා මොක්සි නමින් හඳුන්වා ඇති කුඩා ප්‍රමාණයේ උපාංගයක් ‘පර්සිවියරන්ස්’ රෝවරය මගින්  අඟහරු ග්‍රහයා වෙත ගෙනගොස් තිබුණි. එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇත. එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වේ. ඉදිරි අඟහරුහි ගවේෂනයකදී  එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන් සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි.

  7. ලොව විශාලතම ආභරණ වෙළෙන්දා වන පැන්ඩෝරා (Pandora) සමගම 2021 වසරේ පතල් මාර්ගයෙන් ලබා ගන්නා ස්වභාවික දියමන්ති වෙනුවට රසායනාගාර තුල විද්‍යාත්මක ක්‍රම මගින් නිපදවන කෘත්‍රිම දියමන්ති භාවිතයෙන් ආභරණ නිෂ්පාදනය හා විකිණීම පළමුවරට හදුන්වා දෙනු ලැබිය. ඔවුන්ගේ කෘත්‍රිම දියමන්ති භාවිතයෙන් නිපදවන ලද පළමු අභරණ එකතුව මහා බ්‍රිතානයේ දී එලි දක්වන ලදී.

  8. අන්තර් ජාතික භූගෝල ශාස්ත්‍රය පිළිබඳ වූ  සංගමය (National Geographic) විසින් කිලෝමීටර මිලියන 22 ක් පමණ වන දකුණු ධ්‍රැවය හරහා විහිදී ඇති ඇන්ටාටික් සාගරය "දක්ෂිණ සාගරය" ලෙස නිල වශයෙන් පිළිගෙන එය පළමු වරට සිතියම් ගත කර පෙන්වීම 2021 සාගර දිනයේ සිදු කරන ලද විශේෂ සිදුවීමකි.

    සාගර යනු පෘථිවි ග්‍රහලෝකයේ ජලගෝලයේ කොටසක් වන ලුණු ජලයේ විශාල ව්‍යාප්තියකි. පෘථිවියේ ජලය වෙන් කරන සාගර 5 ක් ඇත. ඒවා නම්,

    • අත්ලාන්තික් සාගරය. ඇමරිකාව, යුරෝපය සහ අප්‍රිකාව යන මහාද්වීප වෙන් කරන්නේ එයයි. වාණිජමය වශයෙන් එය අපනයන හා ආනයන විශාල ලක්ෂ්‍යයක් බැවින් එය සියල්ලටම වඩා වැදගත් ය. මීට අමතරව, සමකයේ සිට උතුරු ධ්‍රැවය දක්වා වූ ජල කඳවල තාපය හා සීතල සමතුලිත ලෙස නැවත බෙදා හරින වාහක පටිය එහි ඇත.
    • පැසිෆික් සාගරය. එය සියලු සාගරවල විශාලතම දිගුව සහිත එකකි. එහි භූමි ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 180 කි. එය ආසියාවේ, ඇමරිකාවේ සහ ඕෂනියා මහාද්වීප අතර පිහිටා ඇත.
    • ඉන්දියන් සාගරය. එය අප්‍රිකාව, ආසියාව සහ ඕෂනියාව අතර වන අතර එය කුඩා වේ. වර්ග කිලෝමීටර් මිලියන 74 ක භූමි ප්‍රමාණයක් එහි ඇත.
    • ආට්ටික් සාගරය. එය පිහිටා ඇත්තේ කිලෝමීටර මිලියන 14 ක් පමණක් වන අතර එය මුළු උතුරු ධ්‍රැවයම ආවරණය කරයි.
    • දක්ෂිණ සාගරය (ඇන්ටාටික් සාගරය). එය කිලෝමීටර මිලියන 22 ක් පමණ වන අතර එය දකුණු ධ්‍රැවය හරහා විහිදේ.

  9. බ්‍රිතාන්‍ය ජාතික 71 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහු ආරම්භ කරන ලද  වර්ජින් (Virgin) ව්‍යාපාර නාමයෙන් ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රයන වල ව්‍යාපාර පවත්වාගෙන යන ලෝකයේ සිටින වඩාත් සාර්ථකම හා ධනවත්ම පුද්ගලයෙකි. ඔහු විසින් 2004 වසරෙ 'වර්ජින් ගැලැක්ටික්' (Virgin Galactic) සන්නාමයෙන් අභ්‍යවකාශය තරණය කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එහි මුල්ම පියවර ක්‍රියාත්මක වූයේ වර්ජින් ගැලැක්ටික් ආරම්භයෙන් වසර 17ක් ගෙවුණු 2021 ජුලි 11 වන දිනයි. එදින ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේම වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' නමැති සුපර්සොනික් ගගන යානයෙන් ලොව පළමු වරට වාණිජ අරමුණෙන් හා තමන්ගේම ගගන යානයකින් අභ්‍යවකාශ ගත වූ පළමු පුද්ගලයා බවට පත් විය. එනම් අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙස බ්‍රැන්සන්ගේ මෙම වික්‍රමය සැලකෙයි.

    ගුවන් නියමුවන් දෙදෙනකුට සහ මඟින් 6 දෙනකුට ගමන් කළ හැකි මෙම යානයේ එම පළමු සාර්ථක ගමනේ දී රිචර්ඩ් බ්‍රැන්සන් සමඟ අභ්‍යවකාශ ගත වූවේ නියමුවන් දෙදෙනා හා තවත් තිදෙනෙකු පමණි. බ්‍රැන්සන් සමඟ මෙම ඓතිහාසික වැදගත් කමකින් යුත් ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව සඳහා යොදාගත් යානයේ නියමුවන් දෙදෙනා ලෙස ඩේව් මැකී සහ මයිකල් මසූෂී යන දෙදෙනාද, වර්ජින් ගැලැක්ටික් සමාගමේ රාජ්‍ය කටයුතු පිළිබඳව උප සභාපති ශ්‍රීෂා බන්ද්ලාද, සමාගමේ ප්‍රධාන මෙහෙයුම් ඉන්ජිනේරු කොලීන් බෙනට්ද, ප්‍රධාන ගගණගාමී උපදේශක බෙත් මෝසස් ද සහාභාගී විය. මේ අය අතරින්, ඉන්දියාවේ ගුන්තූර්හි උපත ලද ශ්‍රීශා බන්ද්ලා, කොළොම්බියා අභ්‍යවකාශ අනතුර නිසා මෙලොවට අහිමිවූ කල්පනා චව්ලාගෙන් පසුව අභ්‍යවකාශ සැරියක යෙදුණු දෙවන ඉන්දීය සම්භවයක් සහිත කාන්තාව වේ. මෙම චාරිකාවේදී අභ්‍යවකාශයට යෑමත්, ආපසු පැමිණීමත් සිදුවූයේ පැයක තරම් කෙටි කාලයක් ඇතුළතය.

    'වර්ජින් ගැලැක්ටික්' සමාගම මෙම ගගන යානය නිපදවා ඇත්තේ අතමිටසරු ඕනෑම අයකු අභ්‍යවකාශයට ගොස් ගගනගාමියකු ලබන අත්දැකීම ලබා දී ආපසු පොළොවට රැගෙන ඒමේ වාණිජ පරමාර්ථයෙනි. ඒ අනුව පළමු සාර්ථක සංචාරයෙන් පසුව 'වර්ජින් ගැලැක්ටික්' සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල්ගෙවා ලියාපදිංචි වී අවසන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර තිබේ. එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 250,000ක් පමණ වෙතැයි සඳහන් වේ.


  10. කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නා නිසාය. නමුත් ලොව පළමු වරට තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහරයක් මධ්‍යයේ ආලෝක වර්ෂ මිලියන 800 කට පෙර පරාවර්තිත ආලෝක කිරණයක් නිරීක්ෂණය කරන ලදී. මෙය  ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරන ලද සාමාන්‍ය සාපේක්ෂතාවාදය එනම් ගුරුත්වාකර්ෂණය ආලෝකයේ ගමන් මාර්ගයට බලපෑම් කරන බව පෙන්වා දීම සත්‍යාපනය කිරීමකි.